දුව : හලෝ
අම්මා : දුව, මේ සතියේ එනවා නේද?
දුව : නෑ අම්මා OT කරන්න වෙයි
අම්මා : එතකොට නැන්දගේ සල්ලි දෙන්නේ කොහොමද?
දුව : මං OT සල්ලි ටික අම්මගේ mobile එකට ez cash කරන්නම්කෝ... අම්මා ඒ සල්ලි අරන් නැන්දට දෙන්න...
අම්මා : ez cash තියෙන හන්ද මගේ දුව මගේ ළඟ ඉන්නවා වගේ...
හැදුවේ කවුරු උනත්, මොකක් ගැන උනත්, ප්‍රචාරය වෙන්නේ කොහේ උනත් මේ වෙළඳ දැන්වීමෙන් වර්තමාන සමාජ රටාව හරි අපුරුවට විස්තර වෙනවා නේද?
මොකක් හරි අවශ්‍යතාවයකට ණයක් ගන්න ඒ පවුලට සිද්ද වෙලා තියෙනවා.පේන හැටියට නම් ඇඟලුම් කම්හලක තමයි දුව වැඩ කරන්නේ.දුව රස්සාවක් කරල ගන්න පඩියෙන් තමයි ඒ ණය ගෙවන්න වෙලා තියෙන්නේ.ඉතින් අම්මා අහනවා දුවගෙන් මේ සතියේ ගෙදර එනවද කියලා.මේ අම්මා දුව ගෙදර එනවද කියල අහන්නේ දුව ණය ගෙවන්න සල්ලිත් අරන් ඒවි කියල හිතේ තියාගෙනයි.ඒත් දුව කියනවා OT කරන්න වෙන හින්ද මේ සතිඅන්තෙ ගෙදර එන්න වෙන්නේ නෑ කියලා.දුවට සිද්දවෙලා තියෙනවා නැන්දගේ ණය ගෙවන්න OT කරන්න.මෙතන හෙන අවුලක් තියෙනවා නේද? එහෙම නැද්ද?
අපි මාස ගාණකින් හරි ගෙදර එනකං අම්මල කොච්චර ආසාවෙන් බලන් ඉන්නවද කියල ඔය හැමෝටම පෞද්ගලික අත්දැකීම් ඇතිනේ.ගෙදර එනකොට අම්මල කවදහරි ඔයාලට කොන්දේසි දානවද? නෑ නේද.ඒත් මේ අම්මට තමන්ගේ දුව ගෙදර එනවට කොන්දේසි දාන්න වෙලා.අම්මගෙයි දුවගෙයි අතර තියෙන මානව සම්බන්ධය අතරට මුදල් පැනල.ඉතින් දුව ගෙදර එනවට සතුටු වෙන අම්මා දුව සල්ලිත් අරන් ගෙදර එනවනං ඊටත් වඩා සතුටු වෙනවා.මානව සම්බන්ධතාවලට මුදල් මැදිහත් කරගත්තු එකට වැරදි අම්ම ද? දුව ද? නැත්තං නැන්ද ද?ඇත්තටම කවුරුවත් වැරදි නෑ. එහෙනං මේ මොකද වෙලා තියන්නෙ.කොහෙන්ද සල්ලි මැද්දට පැන්නේ.
කටුනායක පැත්තේ ඇඟලුම් කම්හලක වැඩ කරන සේවකයෙක් ගැන හිතන්නකෝ.එයාල ගන්න වැටුප ජිවත් වෙන්න ප්‍රමාණවත්ද? ජිවත් වෙන්න ප්‍රමාණවත් තරම් වැටුපක් එයාලට ගෙවනවද? වැඩකරන ප්‍රමාණයට හරියන්න වැටුපක් එයාලට හම්බවෙනවද?
ඇත්තටම හොයල බැලුවොත් දකින්න හම්බවේවි ඒ සේවකයෝ කොච්චර පිඩාවක් මැද්දේද ජිවත් වෙන්නේ කියලා.ඉතාම පුංචි වැටුපකට තමන්ගේ ශ්‍රමය හෙලන මේ මිනිස්සුන්ට ඒ ඒ ආයතනවලින් වැටුප් ගෙවන්නේ හරි අපූරු ආකාරයකටයි.ඇත්තටම ගණනය කලෝතින් සේවකයෙක්ට දවසක වැටුප කියල හම්බවෙන්නේ
එදා දවසේ ජීවත්වෙලා හෙට දවසේ ආපහු වැඩට එන්න අවශ්‍ය කරන අවම මුදල විතරයි.දැන් දැන් ඒ අවම මුදල, ඒ කියන්නේ මිනිහෙක් නොමැරී ඉන්න අවශ්‍ය මුදලවත් නොදෙන්න සමහර ආයතන කටයුතු කරනවා. උදාහරණයක් කියන්නම්.
ඉදිකිරීම් ආයතනයක් ගන්නකෝ.ඒකෙ වැඩකරන සේවකයෙක්ට අනතුරක් සිදුවුනෝතින් කලින් නම් ආයතනයෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යන වියදම ලබා දෙනවනේ.ඒත් නවතම ප්‍රවණතාවය තමයි එතන සේවකයොන්ට මුලින්ම එයාලගේ ආරක්ෂාව ගැන දවස් දෙකක විතර වැඩමුළුවක් තියනවා.ඊට පස්සේ කවුරුහරි අනතුරක් කරගත්තොතින් ඒකෙ වගකීම ආයතනය ගන්නේ නෑ.මොකද
කලින් ආරක්ෂාව ගැන කියල දුන්නනේ.අනතුරක් කරගන්න එකේ වැරැද්ද සේවකයගෙයි.වැඩමුළුව තියන එක වෛද්‍ය ප්‍රතිකාරවලට යන වියදමට වඩා ලාභයිනේ.ඒ ඒ ආයතන, කර්මාන්තශාලා හිතන්නේ ලාභ වැඩිකරගන්න එක මිසක් මනුස්සකම් ගැන නෙවෙයිනේ.
අපි ආයෙත් අම්මගෙයි දුවගෙයි සංවාදෙට එමුකො.දුව කියනවා එයාට එන්න වෙන්නේ නැති උනත් සල්ලි එවන්න ක්‍රමයක් තියෙනවා කියලා. ඒ තමයි ez cash අම්මා කියනවා ez cash තියෙන හන්ද මගේ දුව මගේ ළඟ ඉන්නවා වගේ කියලා.එතන තියෙන දරුණු අර්බුධය වැටහෙනවද? දුව ගෙදර ආවෙ නැති උනාට
දැන් අවුලක් නෑ.සල්ලි ටික හම්බවෙනවනේ.
මෙන්න මේක තේරෙනවද කියන්නකෝ.කවුරුහරි පිරිසක් අපෙන් වැඩ අරන්, අපිව හූරගෙන කාල අපි නොමැරී ඉන්න තරමටවත් ප්‍රමාණවත් නොවෙන වැටුපක් ගෙවනවා.ජිවත් වෙන්න මුදල් ප්‍රමාණවත් නැති හින්ද අපි ණයකාරයෝ වෙනවා.ඉතින් මූලික අවශ්‍යතා ටිකහරි ඉටු කරගන්න OT කරන්න අපිට සිද්ධවෙලා තියෙනවා.ඉතින් දුවට අම්මව හම්බවෙන්න සති අන්තෙ ගෙදර යන්න බැරිවෙනවා.එතකොට එනවා තව සමාගමක් එයා අම්මගෙයි දුවගෙයි මුදල් ප්‍රශ්නේ බේරලා දෙන්න අතර තියෙන මානව සම්බන්ධය දුරස් කරනවා හරි අපුරුවට.හොඳට හිතල බැලුවොත් තේරේවි අපිව හූරගෙන කන්නෙත්, අපිව අර්බුධයකට දාන්නෙත්, ඒ අර්බුධවලින් වාසි ගන්නෙත් එකම පිරිසක් කියලා.මේක නැති කරන්නේ කොහොමද? නිකම්ම හරියයිද? ඕක වෙනස් කරන්න බැරිද? නෑ පුළුවන්. ඒත් නිකන් බෑ.අපි සටන් කරන්න ඕන.
අපි සටන් කරන්න ඕන මෙන්න මේ එක පිරිසකට තව පිරිසක් හූරගෙන කන්න ඉඩදීපු සමාජ ක්‍රමයත් එක්ක මිසක් අම්මා එක්කවත්, දුව එක්කවත්, නැන්ද එක්කවත්, එහා ගෙදර මනුස්සයෝ එක්කවත් නෙවෙයි...
https://www.youtube.com/watch?v=dOnUqX28fgk&noredirect=1



No comments:
Post a Comment