Monday, June 29, 2015

සම්මුඛ පරීක්ෂණය




ඉස්කෝලේ යන පොඩි එවුන්ව දකිනවා නේද උදේට.උන් කොච්චර ලස්සනට ලෑස්තිවෙලා ඉන්නවද නේද? පොඩි කොල්ලෙක් නම් නිල්පාට කොට කලිසමයි සමහරවිට සුදු පාට එකක් වෙන්නත් පුළුවන්, ලොකු කොල්ලෙක් නම් සුදුපාට දිග කලිසම ඇඳලා, ගෑනු ළමයෙක් නම් ගවුමක් ඇඳලා යන දර්ශනය හිතේ මවා ගන්නකෝ.එක්කෙනෙක්ට එක්කෙනෙක් වෙන්කරලා අඳුර ගන්න බෑ.එහෙම කියනකොට සමහරුන්ගෙ හිත් අතීතයට දුවල එන්නත් ඇති.

එකම විදියේ ඇඳුමක්... කෙනෙක්ට හිතෙන්න පුළුවන් කොච්චර පිළිවෙලක් තියෙනවද එතන කියලා.හැමෝටම එහෙම හිතෙනවනෙ.ඒත් ඔය නිල ඇඳුම පොඩි එකෙක්ගේ හිතට කොච්චර බලපෑමක් ඇති කරලද කියල දැනගන්න පුළුවන් වෙන්නෙ උන් ලොකුවෙලා සමාජයට ආවට පස්සෙයි.

පුංචි උදාහරණයක් කියන්නම්. The experiment කියල ෆිල්ම් එකක් තියෙනවා.සල්ලි හොයාගන්න ඕන හින්ද තමන්වත් නොදන්න පරීක්ෂණයකට සහභාගී වෙන්න සිද්ද වෙන පිරිසක් ගැන තමයි කතාව ගලායන්නේ.මෙයාලට හම්බවෙන පරීක්ෂණය තමයි පිරිසක් පොලිස් නිලධාරීන් විදියටත් අනිත් අය සිරකරුවෝ විදියටත් සතියක් එකට ඉන්න එක.ඉතිං මෙයාලව දෙකට බෙදන්න එපැයි.පරීක්ෂක කණ්ඩායම එතන ඉන්න පිරිස දෙකට වෙන් කරන්න ගේන උපක්‍රමය තමයි ඇඳුම.පොලිස් කියල පෙන්නන්න නිල ඇඳුමකුයි සිරකාරයෝ කියල පෙන්නන්න වෙනම ඇඳුමකුයි යොදා ගන්නවා.එච්චර දවසක් එකට හිටපු මිනිස්සුන්ට තමන් දෙපිරිසක් කියල ඒත්තු යන්නේ තමන්ට හිමි ඇඳුම ඇන්දයින් පස්සෙයි.ටික දවසක් යනකොට දෙපිලකට බෙදිලා එකිනෙකාව මරාගන්න තත්වයකට පත්වෙන මේ පිරිස සතියකට පස්සේ ආයෙම එකම සමාජයකට මුදාහැරෙන සිදුවීමකින් තමයි චිත්‍රපටිය ඉවරවෙන්නේ.


ඕකම නේද අපේ කතාවත්.ඉස්කෝලේ යන අය අඳින්නේ මෙහෙම, පොලීසියේ අය අඳින්නේ මෙහෙම, හමුදාවේ අය අඳින්නේ මෙහෙම, නීතිඥයෝ අඳින්නේ මෙහෙම, ගාර්මන්ට් එකේ අය අඳින්නේ මෙහෙම, විධායක ශ්‍රේණි අඳින්නේ මෙහෙම, ගුරුවරු අදින්නේ මෙහෙම, නර්සලා අඳින්නේ මෙහෙම, මාර්ග කම්කරුවෝ අඳින්නේ මෙහෙම යනාදී විදියට පුංචි කාලෙම අපේ ඔලුවලට දානවා එක එක්කෙනාට විශේෂ නිල ඇඳුමක් තියෙනවා ඒ ඒ අය ඒ ඇඳුම අඳින්න ඕන කියල.ඇත්තටම මිනිස්සුන්ට හිතිලද මෙහෙම එක එක ඇඳුම් තමන්ට අයිතියි කියල බෙදාගන්න ඇත්තේ.නැත්තං කවුරුහරි නියම කරලද මේ විදියට ඇඳපන් කියලා?

හිතල බලන්නකෝ ප්‍රාථමික සාමුහික සමාජය ගැන.ඒ කාලේ මිනිස්සු මෙහෙම ශ්‍රමයේ ආකාරය අනුව ඇඳුම්වලට බෙදිලා හිටියද? මොන පිස්සුද? එයාලට ඇඳුම ඕන උනේ විවිධ කාලගුණික තත්වවලින් ආරක්ෂා වෙන්නයි.කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනං ඒ කාලේ ඇඳුම් එකම විදිහේ වෙන්නැති ඒ හින්ද ඇඳුම හරිම ඒකාකාරී වෙන්නැති කියලා.මම හිතන්නේ සිද්ද වෙන්න ඇත්තේ ඒකෙ අනිත් පැත්තයි.ඒ කාලේ තමයි ලෝකේ ලස්සනම ඇඳුම් විලාසිතා තියෙන්න ඇත්තේ.මොකද මිනිස්සුන්ට නිර්මාණකරණයට අවශ්‍ය නිදහස උපරිමෙන්ම තිබුන කාලයක් තමයි ප්‍රාථමික සාමුහික සමාජය කියන්නේ.තමන්ගේ ඇඳුම තමන්ට අවශ්‍ය ඕනෑම විදියකට නිපදවාගන්න ඔවුන්ට පුළුවන් උනා.ඇඳුම හදාගන්න අතරතුරේදී තව අලුත් දෙයක් ඒකට එකතු කරන්න හිතුනොත් ඒකට පවා නිදහස තිබුනා.

 දැන් එහෙමද? එක ඇඳුමක් මහන්න රටවල් කීයක මිනිස්සු දායක වෙනවද? කපු වවන්නේ එක රටක, නුල් හදන්නේ තව රටක, නුල්වලට සායම් හදන්නේ තව රටක,රෙදි මහන මැෂිම තව රටක, රෙදි මහන්නේ තව රටක, රෙදි අඳින්නේ තව රටක මිනිස්සු.රෙදි මහන අයට කිසිම අදහසක් නෑ එයාල මහන රෙදි කවුරු අඳිවිද කියලා.රෙදි අඳින අයට බෑ තමන් කැමති විදියට ඒක නිමකරගන්න, කඩේ තියෙන ලෝකේ ඇඳුම් ගැන තීරණය කරන සුළු පිරිසක් කැමති ඇඳුමක් සල්ලි දීල අරගන්න එක තමයි වර්තමනේදී වෙන්නෙ.ඉතිං වර්තමානේ නෙවෙයිද ඒකාකාරී...

 මාතෘකාවේ කිව්ව විදියට මේ ලිපියට පාදක උනේ සම්මුඛ පරීක්ෂණයක්.මම තීරණය කරලා තිබුනේ සම්මුඛ පරීක්ෂණයට යද්දී බොහොම සාමාන්‍ය විදියට ඩෙනිමකුයි ටී ෂර්ට් එකකුයි දාගෙන යන්න.එතනදී මට ආපු ලොකුම දෝෂාරෝපණය තමයි එහෙම ගියාම ඒක පරීක්ෂක මණ්ඩලයට (interview board) කරන අගෞරවයක් කියන එක. මම, මට චෝදනා කරපු පිරිසට කිව්වේ මගේ හිතේ තුන් හිතකවත් පරීක්ෂක මණ්ඩලය ගැන අහිතක් නෑ කියලයි.ඉතිං මම සම්මුඛ පරීක්ෂණයට ගියා.එයාලත් ඇඳුම ගැන මොකුත්ම කිව්වේ නෑ.ඇත්තටම එතනදී මනින්න තිබුනේ දැනුම මිසක් ඇඳුම නෙවෙයි.ඒක තේරුම් ගන්න බැරිඋනේ අපේම උන්ට මිසක් පරීක්ෂක මණ්ඩලයට නෙවෙයි.වර්තමානය වෙද්දි මහත්තයා මහත්මයකු කරන්නෙත් ඇඳුමම නේද? ඔය රාමුවකට කොටුවෙලා හිතන සිතුවිල්ලම තමයි දවසක ධන්පතියොන්ට එක විදිහක ඇඳුමකුත් නිර්ධනයින්ට එක විදිහක ඇඳුමකුත් ඉතිරි කරන්නේ... දැනටත් එහෙම වෙලාවත්ද?

 


Friday, June 26, 2015

ජාතික වීරයෝ


පුංචි කාලේ අපිට උගන්නපු ජාතික වීරයෝ වෙනුවට වර්තමානය වෙද්දි superman, batman,spiderman වගේ අය ආදේශවෙලා, ඒක නිසාම ළමයින්ගේ මනස දුෂණය වෙලා කියල ලොකු චෝදනාවක් මේ වෙලාවේ සමාජය තුල තහවුරු වෙලා තියෙනවා නේද? ඉතිං මේ හදන්නේ ළමයි වැරදියිද දෙමවුපියෝ වැරදියිද කියන්න නෙවෙයි.ජාතික වීරයෙක් ගැන කතා කරන්න.කතා කරන දේවල් එක්ක ටිකක් විතර අවුල් යයි.ඒක හෙනම සාධාරණයි.ඒත් මේ මට හිතෙන හැටි...

මුලින්ම කියන්නම් මද්දුම බණ්ඩාර ගැන...මද්දුම බණ්ඩාරගේ පවුල ගැන, ඒ පවුල මුහුණ දුන්න අභාග්‍ය සම්පන්න ඉරණම ගැන විස්තර ඕන තරම් හොයාගන්න පුළුවන් වේවි අන්තර්ජාලය හරහා.එහෙම හොයනකොට තමයි විකිපීඩියා එකෙන් උපුටා ගත්ත පහත වගන්තිය හමුවුනේ.

While Madduma Bandara's brother was frighten to face the death, he stepped forward bravely asking the executioner to behead him at the first strike

ඒකෙන් කියනවා අයියා මැරෙන්න බයවෙලා ඉඳපු වෙලාවේ ඉස්සරහට ගියපු මද්දුම බණ්ඩාර කියනවා එක කඩු පහරකින් මගේ ගෙල සිඳින්න කියලා. මද්දුම බණ්ඩාර මැරෙනකොට එයාට වයස අවුරුදු 8යි.දැන් කල්පනා කලෝතින් 3 වසරෙ නේද? 3 වසරෙ පොඩි එකෙක්ට මරනවා කියන එක මොන වගේ හැඟීමක් ඇතිකරාවිද ? වර්තමානෙට ආවොතින් නම් දැන් කාලේ මොන්ටිසෝරි යන එකෙක් පවා දන්නවා මරනවා කියන වචනේ.මොකද පොඩිඋන් බලන tv channel එකේ මරනවා කියන වචනේ දවසට කී වතාවක් කියවෙනවා ඇත්ද? පොඩි එකෙක් කියවන පත්තරේක මරනවා කියන වචනේ කී වතාවක් ලියවිලා ඇත්ද?පොඩි එකා සෙල්ලම්කරන computer game එකක මරනවා කියන දේ කොයි තරම් දුරකට ඇත්ද? මේ විදියට පොඩි උන් තව එකෙක්ව මරන්න හරි තමාට මැරෙන්න හරි පුළුවන් බව දැන ගනීවි.හැබැයි ඌට මරණය කියන්නේ මොකද්ද කියල ලොකු තේරුමක් නැතිවෙයි නේද?

දැන් තමයි ඔයාලට තරහ යන ටික කියන්න යන්නේ.ඉතිං හිතන්නකෝ ඒ කාලේ ගැන.ඉස්සෙල්ල මම කිව්ව tv වත්, පත්තරවත්, games වත් ඒ කාලේ  තිබුනේ නෑ නේද? ඉතිං ඒ කාලේ අවුරුදු 8ක පොඩි එකෙක්ට මරණය ගැන මෙලෝ අදහසක් තියෙන්න නැතුව ඇති.සමහරවිට කවුරුහරි ඇවිත් මරනවා කිව්වොතින් ඒක හෙන විහිළුවක් වගේ දැනෙන්න ඇති.අයිය මැරෙන්න බය උනාට මල්ලි බෙල්ල තියල එක පාරින් මාව මරන්න කියන්න ඇත්තේ ඇත්තටම මරනවා කියන දේ ගැන මොකක් වත් අදහසක් පුංචි මද්දුම බණ්ඩාරගේ හිතේ ඒ වෙලාවේ තියෙන්න නැතුව ඇති.හැබැයි එහෙම මැරුණ මද්දුම බණ්ඩාර තමයි අපේ රටේ පොඩිඋන්ගේ ආදර්ශය... අපේ රටේ ජාතික වීරයා...



එස්.මහින්ද හාමුදුරුවෝ නැත්තං අනගාරික ධර්මපාලතුමා ගැන හොයල බලන්නකෝ.පොත් ගණන් හොයාගන්න පුළුවන් වේවි.ජාතිකත්වය ගැන මහින්ද හාමුදුරුවෝ කවි ලිව්වා තමයි.ඒත් හෙන අවුලක් මට දැනෙනවා.

බෑ ඉවසන්නට බෑ ඉවසන්නට
අම්මෙනි පෙම්බර ලංකා
මා සිත ගින්නෙහි ලූ ලුණුමෙන්
පුපුරන්නෙය කෝප විකාරෙන්
ඈ සනසන්නට සිංහල ලේ ඇති
සිංහල කොල්ලකු අය්යෝ
දැන් උපදින්නෙම නැද්ද උපුල්වන්
දෙව්රජුනේ ලක රක්නා

එයා කවිය ඇතුලෙදි වපුරන්නේ ජාතිවාදය නේද? මොකද ඕන උනේ පෙම්බර ලංකා අම්මව බේරගන්න තමයි.ඒත් හොයන්නේ සිංහල ලේ ඇති කොල්ලෙක්වයි.ලේවල සිංහලද දෙමළද කියල වෙනසක් නෑ කියල අපි හැමෝම දන්නවා තමයි.එහෙනං මේ කතාකරන්නේ කාටද? කොහෙටද? මේ කතාකරන්නේ ලේවල සිංහල හරි දෙමල හරි පාට හොයන පොඩි පිරිසකට නේද? එයාලගේ හිත්වලට නේද? ඒක හින්ද නේද කියන්නේ අපි එකතුවෙලා රට බේරගන්නව වෙනුවට සිංහලයෝ එන්න අපි බේරාගමු කියලා.ධර්මපාලතුමා සලකන්නකෝ.එයා කතා කලෙත් අර ඉස්සෙල්ල කිව්ව ලේවල පාට හොයන මිනිස්සු කීප දෙනාට නේද? එයාගේ සටන් පාඨය උනේ “ගෙරි මස් කෑම ප්‍රතික්ෂේප කරනු” කියල නේද? ඇත්තටම හරකට තිබුන ආදරේට එහෙම කරන්න ඇතිද? මොන බොරුද එතන ආමන්ත්‍රණය කරන්නේ මුස්ලිම් විරෝධී සිංහලයින්ටනේ.

වර්තමානෙට එමුකො.නිර්ධන පන්තියේ මිනිහෙක්ට යුද්ධයක් ඕනද? එහෙම නැත්තං යුද්ධය ඕන කාටද? ඇත්තටම ඔබට මට ජීවත්වෙන්න අවශ්‍ය මුලික අවශ්‍යතා අතරේ යුද්ධය කියල එකක් තියෙනවද? නෑ නේද? අපි කැමති සහයෝගයෙන් ජීවත්වෙන්න නේද? හැබැයි පාලකයොන්ට එහෙම බෑ පාලකයොන්ට යුද්ධය ඕන.එයාල ආගම, ජාතිය කියන වචනේ පාවිච්චි කරන්නේ ඔයාලට ආදරේට නෙවෙයි, එයාලගේ පැවැත්ම තහවුරු කරගන්නයි.ඉතිං එස්.මහින්ද හාමුදුරුවොගෙයි, ධර්මපාලතුමාගෙයි, මහින්දගෙයි, ඥානසාරගෙයි, ප්‍රභාකරන්ගෙයි ලොකු වෙනසක් මටනම් පේන්නෙ නෑ.වියයුත්තේ ආගම රාජ්‍යයෙන් වියුක්ත වීම මිසක ආගම අහෝසි වීම නොවෙයි.

ඉතිං අපි ඉපදුන දවසේ ඉඳන් කතාකරන ජාතික වීරයෝ ඇත්තටම ජාතික විරයෝද? එහෙම නෙවෙයි නං වෙන වීරයෝ ඉන්නවද? ඉන්නවනං රාජ්‍ය අධ්‍යාපනය අස්සේ මකල දාන එයාලව ඉස්මතුකරලා ගන්න කාලේ හරිනේද?






Saturday, June 20, 2015

ශිෂ්‍ය ණය ක්‍රමය



අධ්‍යාපනය සඳහා වන වියදම් පියවා ගැනීමට ආදායම් ප්‍රමාණවත් නොවීම නිසාත් ආදායම් සොයා ගැනීමට අපහසු වීම නිසාත් රටේ සමස්තයට නොමිලේ අධ්‍යාපනය ලබා දීමට රාජ්‍ය අපොහොසත් වන මොහොතක බටහිර රටවල නැවත නැවත ප්‍රතික්ෂේප වන ශිෂ්‍ය ණය ක්‍රමය ලාංකීය අධ්‍යාපනය තුල ස්ථාපිත කිරීමට රජය මේ මොහොත වන විටද කටයුතු කරමින් සිටියි.රටේ උන්නතිය දෙස පුළුල්ව බැලිය යුතු විශ්වවිද්‍යාල ආචාර්ය,මහාචාර්යවරුන්ගෙන් බොහෝ දෙනෙකු පවා අනුමත කරන ශිෂ්‍ය ණය ක්‍රමය සාර්ථකද? අසාර්ථකද? මේ මගේ ඇසින්...
පසුගාමී ආර්ථිකයකට හිමිකම් කියන අපේ රටේ නිදහස් අධ්‍යාපනය මේ තරම්වත් දුරකට පැවතීම ගැන මුලින් අප සතුටු විය යුතුය.මම නිදහස් අධ්‍යාපනය ඇතිකිරීම වෙනුවෙන් කන්නන්ගර මහතාට පින් දෙන අයෙකු නොවෙමි.මන්දයත් සුද්දන්ට ගැතිකම් කල එදා රදලයන්ට නිදහස් අධ්‍යාපනය ඇතිකිරීම අත්‍යාවශ්‍ය වුයේ සුද්දන් මෙරටින් ගිය පසු යටත් විජිත ක්‍රමය බිඳ නොවැටී පවත්වාගෙන යාම සඳහාය.සුද්දන් මෙරටින් ගිය පසු රදලයින් සුද්දන්ගේ තැන ගැනීමටත් ඉන් පසු ඔවුන් සිටි තැනට අවශ්‍ය පිරිස නිර්මාණය කිරීමටයි කන්නන්ගර පරම්පරාව නිදහස් අධ්‍යාපනය ඇතිකළේ.ශිෂ්‍ය ව්‍යාපාරය, වමේ කතිකාවත නොවන්නට ඔවුන්ගේ අරමුණු 100% ක්ම සාර්ථකයි.

ඉතිං අපි ශිෂ්‍ය ණය ක්‍රමය ගැන කතා කරමු.හුඟක් දේවල් මේ වෙද්දි දන්නවා උනත් මුලික කරුණු ගැන හොයල බලමු.
ණය දෙන්නෙ කාටද
ණය දෙන්නෙ කොහොමද
ණය පියව ගන්නෙ කොහොමද
මුල්ම කාරණේ ගැන හිතල බැලුවොතින් දෙමවුපියන්ගේ වාර්ෂික ආදායම් සීමාවක් තීරණය කරලා ඒ සීමාවට වඩා අඩු ආදායම් ලබන අයට ණය දෙන්න රජය තීරණය කරාවි.හරියට මහපොළ දෙනවා වගේ.රටේ සමස්ත ආදායමෙන් විශාල ප්‍රතිශතයක් බොහොම සුළු පිරිසක් අතරේ බෙදිලා යන අපේ වගේ රටක මේ නිර්ණායකය යටතේ ණය ලබා ගන්න බැංකුවල දවස් ගණන් පෝලිමේ ඉන්න අපිට සිද්ද වේවි.ඇත්තටම එහෙම වෙයිද?
අපි දෙවෙනි කාරණයට යමු.රාජ්‍ය විසින් තීරණය කරන ආදායම් සීමාවකට පස්සේ ණය දෙන්න විදිහක් ඔවුන් හදාවි.රාජ්‍ය බැංකු, පෞද්ගලික බැංකු බොහොම තරඟකාරීව ණය දෙන්න ඉදිරිපත් වේවි.එතනදී ඇපකරුවන් හොයාගන්න, ඇපේට තියන්න දෙයක් හොයාගන්න ශිෂ්‍යයාට සිදුවේවි. ප්‍රයෝගික අත්දැකීම නම් ශිෂ්‍යයාගේ දෙමවුපියන්ට සිදුවේවි.
ශිෂ්‍යයන්ට ණය ලබාදෙන ආයතන ඒවා ආපහු හොයාගන්නෙ කොහොමද කියල බලමු.බැංකුවලින් ණය දෙන්නෙ මිනිසුන්ට තියෙන ආදරේට විතරක් නම් නෙවෙයි කියල පුංචි හරි හරි අවබෝධයක් හැමෝටම ඇති කියල හිතනවා.ඉතිං මේ දෙන ණයවලට පොලියක් අනිවාර්යයෙන්ම අය කරාවි.තව එක එක කොන්දේසි දාවි ණය දෙන්න කලින්.
ලංකාවේ ඉන්න හැම මනුස්සයටම ණය ගන්න පුළුවන් වෙයිද? නිවාස ණයක් ගන්න ගෙදර අම්ම තාත්ත කොච්චර කට්ටක් කනවද කියල මේ හැමෝම දන්නවා ඇති.නිවාස ඔප්පුවක් නැති,ගෙයක් නැති මිනිස්සු ලංකාවේ කොච්චර ඇත්ද? එයාල ඇපේට තියන්නේ මොනාද? එයාලට ඉගෙන ගන්න බෑ කියන එක ඔය කියන ක්‍රමය ඇතුලෙ උපදිනකොටම තීරණය කරලා නේද?
ණය දෙනකොට බැංකු අනිවාර්යයෙන්ම සලකලා බලාවි එයාලට ආයේ ණය මුදල් අයකරගැනීමට තියෙන හැකියාව ගැන.ඒ අනුව වෛද්‍ය උපාධියකට, ඉංජිනේරු උපාධියකට ණයක් ගන්න බොහොම පහසු වේවි.මොකද උපාධිය ගත්තොතින් ඒ උපාධිධාරීන්ට රැකියාව සඳහා විශාල අර්බුධයක් තවම පැන නොනගින හින්දා.ඒත් හිතල බලන්න කලා උපාධිධාරියෙක් ගැන.එයාට වර්තමාන අධ්‍යාපන,ආර්ථික රටාව අස්සේ උපාධියෙන් පස්සේ රැකියාවක් ලැබේවි කියල ෂුවර්ද? එහෙම තත්වයක් තියෙනකොට බැංකුවලින් කලා උපාධියකට ණය දේවිද?
බැංකුවලින් ණය දෙන එක ගැන හිතමුකෝ.බැංකු ඔක්කොම එහෙම ණය දේවිද? බැංකු තනිකරම දුවන්නේ මුදල් මැවීම කියන ක්‍රියාවලියෙන්නේ.එතකොට එයාලට පුළුවන් වේවිද ඉල්ලන හැමෝටම ණය දෙන්න.මොකද ඒ මුදල් හොයාගන්න වෙන්නේ අවුරුදු ගානකට පස්සේ.ඇරත් ඒ මුදල් ආපහු හම්බවේවිද කියල විස්වාසයකුත් නෑ. ඇප තියල තමයි මිනිස්සු ණය ගන්නෙ.ඒත් දවසක මිනිස්සු තීරණය කලොත් ණය ගෙවන්නෙ නෑ කියල කොහොමද ඒ මුදල් හොයාගන්නෙ.මරලද..? එතකොට බැංකු මොකද කරන්නෙ.එයාල රැකියා සුරක්ෂිතතාවයක් තියෙන උපාධිවලට විතරක් ණය දෙන්න පෙළඹේවි.වෛද්‍ය උපාධියකට ණය ගන්න ලේසි වෙනවා වගේම කලා උපාධියකට ණය දෙන්න බැංකුවක් ඉදිරිපත් නොවේවි.ඉදිරිපත් උනත් එයාල හුඟක් කොන්දේසි පනවාවි.වැඩි පොලියක් අය කරාවි.
කොහොම හරි ණය දුන්න කියමුකෝ.ඉතිං එහෙම ඉගෙන ගෙන උපාධිය ගන්න කෙනෙක් කොහොම වේවිද? එයා උපාධිය හදාරන්නෙම ආපහු ගෙවන්න මුදල් හොයාගන්න විදිහක් හදාගන්න නෙවෙයිද? එහෙම ක්‍රමයක් නැතුවත් වර්තමානයේ අපේ අයගේ හැසිරීම බලන්නකෝ. එතකොට අධ්‍යාපනය මගින් බලාපොරොත්තු වන පුද්ගලයෙකුගේ ගුණාත්මක සංවර්ධනය ඇතිකරන්න පුලුවන්ද? තවත් කෙනෙක් ගැන හිතන්න පුළුවන් පුද්ගලයෙක් ණය දීල හදන්න පුලුවන්ද? හැම මිනිස් සම්බන්ධතාවයක්ම මුදල් මගින් තීරණය කරන නව ලිබරල් ආර්ථිකයට ශිෂ්‍ය ණය ක්‍රමය කියන්නෙ උල්පතක් නේද?


විවාහය | උත්සවය


විවාහය කියන්නෙ වර්තමානය වෙද්දි සංකීර්ණ මාතෘකාවක් උනත් මේ කතා කරන්න යන්නේ විවාහයකදී සිදුකරන චාරිත්‍ර පිලිබඳ ටිකක් වෙනස් විදිහකට පුංචි විග්‍රහයක්... ප්‍රාග් ඓතිහාසික මානවයත් ළමයි හැදුව තමයි, ඒත් ඇයි එයාල එකපාරටම පවුලක් වෙන්න හිතුවෙ... ඒ කියන්නෙ තමන්ගේ රැලෙන් කිසිදු භේදයකින් තොරව තෝරගත්තු සහකාරියක් එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වපු පිරිමි සත්තු මොකද එකපාරටම විශේෂ ගැනු සතෙක් තෝරාගෙන පවුලක් වෙන්න හිතුවේ.ඒක ටිකක් දිග කතාවක්...
හෝමෝනමය බලපෑම් හින්ද ශරීරයේ ක්‍රියාකාරිත්වයේ,හැසිරීමේ ඇතිවුන වෙනස්කම් හින්ද දඩයම් කරද්දි පිරිමි සත්තුන්ට විශේෂයක් හම්බවෙන්න ඇති ගැනු සත්තුන්ට වඩා.මොකද මාංශ පේශිවල හයිය පොඩ්ඩක් වැඩිපුර තියෙන හින්ද ගැනු සත්තුන්ට වඩා සතෙක් පස්සේ දුවන්න, ලොකු බරක් උස්සන්න, පිරිමි සත්තුන්ට පුලුවන් වෙන්නැති.ඉතිං ඔහොම කාලෙකදී තමයි දුන්නයි ඊතලෙයි හොයාගන්නෙ.ඒක කියන තරන් පහසුවෙන් සිද්ද උන දෙයක් නං නෙවෙයි කියල ටිකක් මතක තියාගන්න.දුන්නයි ඊතලෙයි සොයාගැනීම එදා සමාජයේ පැනපු ලොකුම ලොකු පිම්මක්...

ඉතිං දුනු ඊතල හොයාගත්තු මිනිසාට පුළුවන් උනා වෙනද දඩයම් කලේ එක හාවෙක් නං හාවෝ 10ක් දඩයම් කරගන්න.වෙනදා අමාරුවෙන් පස්සෙන් දුවල ගල් ගහල මරල දඩයම් කරපු එක මුවෙක් වෙනුවට මුවෝ 10ක් දඩයම් කරන්න.ඉතිං හෙටටත් එක්ක කන්න කෑම ඉතිරි උනා.ඉතිරි උන කෑම කල්තියාගන්න ක්‍රමත් හොයාගත්තා, පිළිස්සීම වගේ.කෑම ඉතිරි උනා.අතිරික්තයක් හැදුනා.පිරිමියාට ඕන උනා තමන් මේ රැස් කරගත්තු අතිරික්තය තමන්ගේම කෙනෙක්ට දෙන්න.කාට දෙන්නද? දරුවෙක් හදන්න ගර්භාෂයක්වත් පිරිමියෙක්ට නෑනේ.

ආයුධ දියුණුවීමත් එක්ක ගෝත්‍ර විදියට එකතුවෙලා හිටපු පිරිස තවත් ගෝත්‍රයක් ආක්‍රමණය කරන්න පවා තීරණය කරනවා.මොකද කාවහරි යටත් කරගත්තොත් නිකං කකා බිබී ඉන්න පුලුවන්නේ.ඉතිං ගෝත්‍ර අතර යුද්ධ ඇතිවෙනවා.යුද්ධය කියන්නෙ ගෝත්‍රික හැඟීමක් කියල ඔයාලට තේරෙනවා ඇති.ඔයාල දැන් හොයනවා ඇති කෝ විවාහය කියල.ඉතිං ඔන්න ඔහොම කාලෙකදී තමයි විවාහය ඇතිවෙන්නේ.

මේ වෙනකොට ප්‍රාථමික සාමුහික සමාජයේ තිබුන පසුගාමී ලක්ෂණයන්වන දෙමවුපියන් දු දරුවන් අතර ලිංගික සම්බන්ධතා, ඒ වගේම ලේ ඥාතියෝ අතර ලිංගික සම්බන්ධතා විකෘති වගේ තත්වයන් නිසා අත්දැකීමෙන්ම සමාජයෙන් බැහැර වෙන තත්වයකුයි තිබුනේ.ඉතිං බොහොම සම්භාවිතාවයක් තිබුන තමන්ගේ රැලෙන් පිට කෙනෙක් එක්ක ලිංගික සම්බන්ධයක් පවත්වන්න.කතාවේ ඉතිරි ටික නිකං ෆිල්ම් එකක් වගේ.
වැඩේ ලේසි නෑ.හරියට නිකං වර්තමානෙට ගැලපුවොත් එහා ගමේ ඉන්න කෙල්ලෙක් කොහොමද ගමේ මිනිස්සු එක්ක කේස් එකක් දාගන්නේ නැතුව මෙහා ගමට උස්සන් එන්නෙ වගේ ගේමක්.ඉතිං ඔන්න කොල්ලෙක් ඉන්නවා.කොල්ලට ඕන වෙනවා එහා ගමේ කෙල්ලව උස්සන්න.ඉතිං කොල්ල මේකට සෙට් කරගන්නවා කොල්ලගේ යාලුවෝ ටික.ප්‍රාථමික සාමුහික සමාජයේ ගම් ගැන අහල ඇතිනේ.ඒවා වට කරලයි තිබුනේ.
ඇතුලට පනින එක ලේසි නෑ.ඉතිං කොල්ල කරනදේ තමයි ගමේ දෙපැත්ත කකා ඉන්න මස්තබාල්දු පොඩි කොල්ලෙක්ව සෙට් කරගන්නවා වැඩේට.වැඩේ කරලා දෙන්න ඌ පොරොන්දු වෙනව වගේම වැඩේ ඉවර උනාට පස්සේ ඌට වස්තු ප්‍රමාණයක් දෙන්නත් කොල්ල පොරොන්දු වෙනවා.කොහොමහරි කොල්ලයි කොල්ලගේ යාලුවෝ ටිකයි අල්ලපු ගමේ පොඩි එකාගේ පිහිටෙන් ඒ ගමට පැනල කෙල්ලව බලෙන් උස්සන් එනවා.
දැන් අපි ටිකකට වර්තමානෙට එමුකෝ.හොයල බලන්න මිට ටිකක් කලින් ඒ කියන්නෙ කැමරාව හොයාගත්ත කාලෙට කලින් තිබුන විවාහ උත්සවයක් ගැන.එතකොට විවාහ උත්සවයක මනමාලයයි,මනමාලියයි ළඟ හිටියේ මනමාලයගේ යාලුවෝ ටික විතරයි.කැමරාව හොයාගත්තට පස්සේ තමයි ඔය දෙවැනි මනමාලියෝ කියල කට්ටියක් විවාහ උත්සවයට එකතු උනේ.මොකද ෆොටෝ එක බැලන්ස් නෑනේ.
ඉතිං මෙහෙමනේ උනේ ගෝත්‍රිකයෝ ළඟ තිබුන සංස්කෘතිය අපේ අයට අතඇරගන්න බැරිවෙලා නෙවෙයිද? කෙල්ලව උස්සන්න උදව් කරපු යාලුවෝ ටික වෙනුවට විවාහ උත්සවයට දෙවැනි මනමාලයෝව එකතු කලා.මතකද අර එහා ගමේ ඉඳන් උදව් කරපු මස්තබාල්දු කොල්ලව.කෙල්ලව ඉස්සුවට පස්සේ පොරොන්දු උන විදිහට ඌට වස්තු ප්‍රමාණයක් හම්බවෙනවා.අර මනමාලය එනකොට මස්සිනා එයාගේ කකුල හේදුවම එතන තියෙන වතුර බාල්දියට වටිනා යමක් දාන්නේ පරණ සිද්ධියම සංකේතවත් කරන්න නේද?
විවාහ උත්සවය වෙලාවේදී ඇඟිලි ගැටගහන ඒවා, ඇඟ වටේ රෙදි ඔතන ඒවා මුදු දාන ඒවා චාරිත්‍ර විදිහට හුඟක් තියෙනවා නේද? ඒකෙන් සංකේතවත් වෙනවා නේද අර කෙල්ලව පැහැර ගෙන එද්දි එයාගේ ඇඟපත ගැටගහල තිබුන දේවල්.මොකද අතපය ගැටගහල,කටවල් බැඳලා,මූන වහල තමයි කෙල්ලව උස්සන් එන්නෙ.විවාහ උත්සවය වෙලාවේදී කියනවා නේද අෂ්ටක.කෙලින්ම ගෝත්‍රිකයොන්ගේ ස්තෝත්‍ර වගේ නෙවෙයිද? ඊටත් අෂ්ටකවල තේරුම දන්නවාද? හැම එකම කියන්න බෑනේ.ටිකක් හොයල බලන්න.සෑහෙන්න හිනාවෙන්න පුළුවන් වේවි...

බොහොමයක් වෙලාවට මනමාලිගේ මුණ වහල නේද තියෙන්නේ. වර්තමානේදී වේල් එක වගේ නම්වලින් හැඳින්වුවට ඒ තියෙන්නෙත් මුණ වහල ගෙනාපු කෙල්ලගේ සංකේතයම නේද?





ඉතිං තේරුම් ගන්න තියෙන්නේ විවාහ උත්සවය කියල අපි කරන්නෙ ගෝත්‍රික ඇදහිල්ල වර්තමානෙට ගේන එක නේද? කෙල්ලෙක්ව බලෙන් පැහැරගෙන ඒම නිරුපණය කරන විවාහ උත්සවයේ සිරිත්විරිත් ඉස්සරහටත් ඒ විදිහටම කරනවද? කෙලින්ම ඇහුවේ ආපහු ගෝත්‍රිකයෙක් වෙනවද නැද්ද කියල තමයි...

Friday, June 19, 2015

ez cash




දුව :      හලෝ
අම්මා :  දුව, මේ සතියේ එනවා නේද?
දුව :      නෑ අම්මා OT කරන්න වෙයි
අම්මා :  එතකොට නැන්දගේ සල්ලි දෙන්නේ කොහොමද?
දුව :      මං OT සල්ලි ටික අම්මගේ mobile එකට ez cash කරන්නම්කෝ... අම්මා ඒ සල්ලි අරන් නැන්දට                  දෙන්න...
අම්මා :  ez cash තියෙන හන්ද මගේ දුව මගේ ළඟ ඉන්නවා වගේ...

හැදුවේ කවුරු උනත්, මොකක් ගැන උනත්, ප්‍රචාරය වෙන්නේ කොහේ උනත් මේ වෙළඳ දැන්වීමෙන් වර්තමාන සමාජ රටාව හරි අපුරුවට විස්තර වෙනවා නේද?

මොකක් හරි අවශ්‍යතාවයකට ණයක් ගන්න ඒ පවුලට සිද්ද වෙලා තියෙනවා.පේන හැටියට නම් ඇඟලුම් කම්හලක තමයි දුව වැඩ කරන්නේ.දුව රස්සාවක් කරල ගන්න පඩියෙන් තමයි ඒ ණය ගෙවන්න වෙලා තියෙන්නේ.ඉතින් අම්මා අහනවා දුවගෙන් මේ සතියේ ගෙදර එනවද කියලා.මේ අම්මා දුව ගෙදර එනවද කියල අහන්නේ දුව ණය ගෙවන්න සල්ලිත් අරන් ඒවි කියල හිතේ තියාගෙනයි.ඒත් දුව කියනවා OT කරන්න වෙන හින්ද මේ සතිඅන්තෙ ගෙදර එන්න වෙන්නේ නෑ කියලා.දුවට සිද්දවෙලා තියෙනවා නැන්දගේ ණය ගෙවන්න OT කරන්න.මෙතන හෙන අවුලක් තියෙනවා නේද? එහෙම නැද්ද?

අපි මාස ගාණකින් හරි ගෙදර එනකං අම්මල කොච්චර ආසාවෙන් බලන් ඉන්නවද කියල ඔය හැමෝටම පෞද්ගලික අත්දැකීම් ඇතිනේ.ගෙදර එනකොට අම්මල කවදහරි ඔයාලට කොන්දේසි දානවද? නෑ නේද.ඒත් මේ අම්මට තමන්ගේ දුව ගෙදර එනවට කොන්දේසි දාන්න වෙලා.අම්මගෙයි දුවගෙයි අතර තියෙන මානව සම්බන්ධය අතරට මුදල් පැනල.ඉතින් දුව ගෙදර එනවට සතුටු වෙන අම්මා දුව සල්ලිත් අරන් ගෙදර එනවනං ඊටත් වඩා සතුටු වෙනවා.මානව සම්බන්ධතාවලට මුදල් මැදිහත් කරගත්තු එකට වැරදි අම්ම ද? දුව ද? නැත්තං නැන්ද ද?ඇත්තටම කවුරුවත් වැරදි නෑ. එහෙනං මේ මොකද වෙලා තියන්නෙ.කොහෙන්ද සල්ලි මැද්දට පැන්නේ.

කටුනායක පැත්තේ ඇඟලුම් කම්හලක වැඩ කරන සේවකයෙක් ගැන හිතන්නකෝ.එයාල ගන්න වැටුප ජිවත් වෙන්න ප්‍රමාණවත්ද? ජිවත් වෙන්න ප්‍රමාණවත් තරම් වැටුපක් එයාලට ගෙවනවද? වැඩකරන ප්‍රමාණයට හරියන්න වැටුපක් එයාලට හම්බවෙනවද?

ඇත්තටම හොයල බැලුවොත් දකින්න හම්බවේවි ඒ සේවකයෝ කොච්චර පිඩාවක් මැද්දේද ජිවත් වෙන්නේ කියලා.ඉතාම පුංචි වැටුපකට තමන්ගේ ශ්‍රමය හෙලන මේ මිනිස්සුන්ට ඒ ඒ ආයතනවලින් වැටුප් ගෙවන්නේ හරි අපූරු ආකාරයකටයි.ඇත්තටම ගණනය කලෝතින් සේවකයෙක්ට දවසක වැටුප කියල හම්බවෙන්නේ
එදා දවසේ ජීවත්වෙලා හෙට දවසේ ආපහු වැඩට එන්න අවශ්‍ය කරන අවම මුදල විතරයි.දැන් දැන් ඒ අවම මුදල, ඒ කියන්නේ මිනිහෙක් නොමැරී ඉන්න අවශ්‍ය මුදලවත් නොදෙන්න සමහර ආයතන කටයුතු කරනවා. උදාහරණයක් කියන්නම්.
ඉදිකිරීම් ආයතනයක් ගන්නකෝ.ඒකෙ වැඩකරන සේවකයෙක්ට අනතුරක් සිදුවුනෝතින් කලින් නම් ආයතනයෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යන වියදම ලබා දෙනවනේ.ඒත් නවතම ප්‍රවණතාවය තමයි එතන සේවකයොන්ට මුලින්ම එයාලගේ ආරක්ෂාව ගැන දවස් දෙකක විතර වැඩමුළුවක් තියනවා.ඊට පස්සේ කවුරුහරි අනතුරක් කරගත්තොතින් ඒකෙ වගකීම ආයතනය ගන්නේ නෑ.මොකද
කලින් ආරක්ෂාව ගැන කියල දුන්නනේ.අනතුරක් කරගන්න එකේ වැරැද්ද සේවකයගෙයි.වැඩමුළුව තියන එක වෛද්‍ය ප්‍රතිකාරවලට යන වියදමට වඩා ලාභයිනේ.ඒ ඒ ආයතන, කර්මාන්තශාලා හිතන්නේ ලාභ වැඩිකරගන්න එක මිසක් මනුස්සකම් ගැන නෙවෙයිනේ.

අපි ආයෙත් අම්මගෙයි දුවගෙයි සංවාදෙට එමුකො.දුව කියනවා එයාට එන්න වෙන්නේ නැති උනත් සල්ලි එවන්න ක්‍රමයක් තියෙනවා කියලා. ඒ තමයි ez cash අම්මා කියනවා ez cash තියෙන හන්ද මගේ දුව මගේ ළඟ ඉන්නවා වගේ කියලා.එතන තියෙන දරුණු අර්බුධය වැටහෙනවද? දුව ගෙදර ආවෙ නැති උනාට
දැන් අවුලක් නෑ.සල්ලි ටික හම්බවෙනවනේ.
මෙන්න මේක තේරෙනවද කියන්නකෝ.කවුරුහරි පිරිසක් අපෙන් වැඩ අරන්, අපිව හූරගෙන කාල අපි නොමැරී ඉන්න තරමටවත් ප්‍රමාණවත් නොවෙන වැටුපක් ගෙවනවා.ජිවත් වෙන්න මුදල් ප්‍රමාණවත් නැති හින්ද අපි ණයකාරයෝ වෙනවා.ඉතින් මූලික අවශ්‍යතා ටිකහරි ඉටු කරගන්න OT කරන්න අපිට සිද්ධවෙලා තියෙනවා.ඉතින් දුවට අම්මව හම්බවෙන්න සති අන්තෙ ගෙදර යන්න බැරිවෙනවා.එතකොට එනවා තව සමාගමක් එයා අම්මගෙයි දුවගෙයි මුදල් ප්‍රශ්නේ බේරලා දෙන්න අතර තියෙන මානව සම්බන්ධය දුරස් කරනවා හරි අපුරුවට.හොඳට හිතල බැලුවොත් තේරේවි අපිව හූරගෙන කන්නෙත්, අපිව අර්බුධයකට දාන්නෙත්, ඒ අර්බුධවලින් වාසි ගන්නෙත් එකම පිරිසක් කියලා.මේක නැති කරන්නේ කොහොමද? නිකම්ම හරියයිද? ඕක වෙනස් කරන්න බැරිද? නෑ පුළුවන්. ඒත් නිකන් බෑ.අපි සටන් කරන්න ඕන.
අපි සටන් කරන්න ඕන මෙන්න මේ එක පිරිසකට තව පිරිසක් හූරගෙන කන්න ඉඩදීපු සමාජ ක්‍රමයත් එක්ක මිසක් අම්මා එක්කවත්, දුව එක්කවත්, නැන්ද එක්කවත්, එහා ගෙදර මනුස්සයෝ එක්කවත් නෙවෙයි...





https://www.youtube.com/watch?v=dOnUqX28fgk&noredirect=1