ඉස්කෝලේ යන පොඩි එවුන්ව දකිනවා නේද උදේට.උන්
කොච්චර ලස්සනට ලෑස්තිවෙලා ඉන්නවද නේද? පොඩි කොල්ලෙක් නම් නිල්පාට කොට කලිසමයි සමහරවිට
සුදු පාට එකක් වෙන්නත් පුළුවන්, ලොකු කොල්ලෙක් නම් සුදුපාට දිග කලිසම ඇඳලා, ගෑනු
ළමයෙක් නම් ගවුමක් ඇඳලා යන දර්ශනය හිතේ මවා ගන්නකෝ.එක්කෙනෙක්ට එක්කෙනෙක් වෙන්කරලා
අඳුර ගන්න බෑ.එහෙම කියනකොට සමහරුන්ගෙ හිත් අතීතයට දුවල එන්නත් ඇති.
එකම විදියේ ඇඳුමක්... කෙනෙක්ට හිතෙන්න පුළුවන්
කොච්චර පිළිවෙලක් තියෙනවද එතන කියලා.හැමෝටම එහෙම හිතෙනවනෙ.ඒත් ඔය නිල ඇඳුම පොඩි
එකෙක්ගේ හිතට කොච්චර බලපෑමක් ඇති කරලද කියල දැනගන්න පුළුවන් වෙන්නෙ උන් ලොකුවෙලා
සමාජයට ආවට පස්සෙයි.
පුංචි උදාහරණයක් කියන්නම්. The experiment
කියල ෆිල්ම් එකක් තියෙනවා.සල්ලි හොයාගන්න ඕන
හින්ද තමන්වත් නොදන්න පරීක්ෂණයකට සහභාගී වෙන්න සිද්ද වෙන පිරිසක් ගැන තමයි කතාව
ගලායන්නේ.මෙයාලට හම්බවෙන පරීක්ෂණය තමයි පිරිසක් පොලිස් නිලධාරීන් විදියටත් අනිත්
අය සිරකරුවෝ විදියටත් සතියක් එකට ඉන්න එක.ඉතිං මෙයාලව දෙකට බෙදන්න එපැයි.පරීක්ෂක
කණ්ඩායම එතන ඉන්න පිරිස දෙකට වෙන් කරන්න ගේන උපක්‍රමය තමයි ඇඳුම.පොලිස් කියල
පෙන්නන්න නිල ඇඳුමකුයි සිරකාරයෝ කියල පෙන්නන්න වෙනම ඇඳුමකුයි යොදා ගන්නවා.එච්චර
දවසක් එකට හිටපු මිනිස්සුන්ට තමන් දෙපිරිසක් කියල ඒත්තු යන්නේ තමන්ට හිමි ඇඳුම
ඇන්දයින් පස්සෙයි.ටික දවසක් යනකොට දෙපිලකට බෙදිලා එකිනෙකාව මරාගන්න තත්වයකට පත්වෙන
මේ පිරිස සතියකට පස්සේ ආයෙම එකම සමාජයකට මුදාහැරෙන සිදුවීමකින් තමයි චිත්‍රපටිය
ඉවරවෙන්නේ.
ඕකම නේද අපේ කතාවත්.ඉස්කෝලේ යන අය අඳින්නේ මෙහෙම,
පොලීසියේ අය අඳින්නේ මෙහෙම, හමුදාවේ අය අඳින්නේ මෙහෙම, නීතිඥයෝ අඳින්නේ මෙහෙම,
ගාර්මන්ට් එකේ අය අඳින්නේ මෙහෙම, විධායක ශ්‍රේණි අඳින්නේ මෙහෙම, ගුරුවරු අදින්නේ
මෙහෙම, නර්සලා අඳින්නේ මෙහෙම, මාර්ග කම්කරුවෝ අඳින්නේ මෙහෙම යනාදී විදියට පුංචි
කාලෙම අපේ ඔලුවලට දානවා එක එක්කෙනාට විශේෂ නිල ඇඳුමක් තියෙනවා ඒ ඒ අය ඒ ඇඳුම
අඳින්න ඕන කියල.ඇත්තටම මිනිස්සුන්ට හිතිලද මෙහෙම එක එක ඇඳුම් තමන්ට අයිතියි කියල
බෙදාගන්න ඇත්තේ.නැත්තං කවුරුහරි නියම කරලද මේ විදියට ඇඳපන් කියලා?
හිතල බලන්නකෝ ප්‍රාථමික සාමුහික සමාජය ගැන.ඒ කාලේ
මිනිස්සු මෙහෙම ශ්‍රමයේ ආකාරය අනුව ඇඳුම්වලට බෙදිලා හිටියද? මොන පිස්සුද? එයාලට ඇඳුම
ඕන උනේ විවිධ කාලගුණික තත්වවලින් ආරක්ෂා වෙන්නයි.කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනං ඒ
කාලේ ඇඳුම් එකම විදිහේ වෙන්නැති ඒ හින්ද ඇඳුම හරිම ඒකාකාරී වෙන්නැති කියලා.මම
හිතන්නේ සිද්ද වෙන්න ඇත්තේ ඒකෙ අනිත් පැත්තයි.ඒ කාලේ තමයි ලෝකේ ලස්සනම ඇඳුම්
විලාසිතා තියෙන්න ඇත්තේ.මොකද මිනිස්සුන්ට නිර්මාණකරණයට අවශ්‍ය නිදහස උපරිමෙන්ම
තිබුන කාලයක් තමයි ප්‍රාථමික සාමුහික සමාජය කියන්නේ.තමන්ගේ ඇඳුම තමන්ට අවශ්‍ය ඕනෑම
විදියකට නිපදවාගන්න ඔවුන්ට පුළුවන් උනා.ඇඳුම හදාගන්න අතරතුරේදී තව අලුත් දෙයක් ඒකට
එකතු කරන්න හිතුනොත් ඒකට පවා නිදහස තිබුනා.
දැන් එහෙමද? එක ඇඳුමක් මහන්න රටවල් කීයක මිනිස්සු
දායක වෙනවද? කපු වවන්නේ එක රටක, නුල් හදන්නේ තව රටක, නුල්වලට සායම් හදන්නේ තව
රටක,රෙදි මහන මැෂිම තව රටක, රෙදි මහන්නේ තව රටක, රෙදි අඳින්නේ තව රටක
මිනිස්සු.රෙදි මහන අයට කිසිම අදහසක් නෑ එයාල මහන රෙදි කවුරු අඳිවිද කියලා.රෙදි
අඳින අයට බෑ තමන් කැමති විදියට ඒක නිමකරගන්න, කඩේ තියෙන ලෝකේ ඇඳුම් ගැන තීරණය කරන
සුළු පිරිසක් කැමති ඇඳුමක් සල්ලි දීල අරගන්න එක තමයි වර්තමනේදී වෙන්නෙ.ඉතිං
වර්තමානේ නෙවෙයිද ඒකාකාරී...
මාතෘකාවේ කිව්ව විදියට මේ ලිපියට පාදක උනේ සම්මුඛ
පරීක්ෂණයක්.මම තීරණය කරලා තිබුනේ සම්මුඛ පරීක්ෂණයට යද්දී බොහොම සාමාන්‍ය විදියට ඩෙනිමකුයි ටී ෂර්ට්
එකකුයි දාගෙන යන්න.එතනදී මට ආපු ලොකුම දෝෂාරෝපණය තමයි එහෙම ගියාම ඒක පරීක්ෂක මණ්ඩලයට
(interview board) කරන අගෞරවයක් කියන එක. මම, මට චෝදනා කරපු පිරිසට
කිව්වේ මගේ හිතේ තුන් හිතකවත් පරීක්ෂක මණ්ඩලය ගැන අහිතක් නෑ කියලයි.ඉතිං මම සම්මුඛ
පරීක්ෂණයට ගියා.එයාලත් ඇඳුම ගැන මොකුත්ම කිව්වේ නෑ.ඇත්තටම එතනදී මනින්න තිබුනේ
දැනුම මිසක් ඇඳුම නෙවෙයි.ඒක තේරුම් ගන්න බැරිඋනේ අපේම උන්ට මිසක් පරීක්ෂක
මණ්ඩලයට නෙවෙයි.වර්තමානය වෙද්දි මහත්තයා මහත්මයකු කරන්නෙත් ඇඳුමම නේද? ඔය රාමුවකට කොටුවෙලා හිතන සිතුවිල්ලම තමයි දවසක ධන්පතියොන්ට එක
විදිහක ඇඳුමකුත් නිර්ධනයින්ට එක විදිහක ඇඳුමකුත් ඉතිරි කරන්නේ... දැනටත් එහෙම
වෙලාවත්ද?



















